දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව අනගාරික ධර්මපාල නමින් දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුළ රෝහල් ද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්ෂූ ශාසනයට ඇතුළු විය. පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන) ය. ඔහුගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සී.ඒ. හේවාවිතාරණ ද බ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙනුනූ චරිතයෝ වූහ.
1872 - 1874 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 1876 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 1878 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය.මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය.